ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අදිරාජ්‍යවාදීන්ගේ කීකරු සේවක පෙළපතකින් පැමිණි 
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1952 වර්ෂයේ එවකට තිබූ දේශපාලන තත්ත්වය අනුව මෝරා යමින් තිබූ සිංහල ජාතිකත්ව නවෝදයට රුකුල් දීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් පවත්වාගෙන ආ මහා සිංහල සංගමයේ දේශපාලන ප්‍රකාශනයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක න්‍යාය වනුයේ සිංහල ජාතිකත්වය හා ධනපති විරෝධයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත වෘක්ෂයක් ලෙස සිංහල සමාජය තුළ මුල් බැසගන්නේ එම පක්ෂයටම ආවේණික වූ ශ්‍රී ලාංකික නාඩි ඇල්ලීමේ කලාව නිසාවෙනි. 

1956දී බහුවාර්ගික සමාජයක් වූ ශ්‍රී ලාංකික සමාජයට බටහිර උගත් හැඳි ගෑරප්පුවෙන් කෑම බීම කන, බොන, ඉංග්‍රීසී සහ ලතින් භාෂා හැර වෙනත් කිසිදු භාෂාවක් හොඳින් කතා නොකරන, කොම්පද්‍රෝරු ධනපතියෙකු වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඔහුත් නොදන්නා ඔහුගේ හත්මුතු පරම්පරාවේ කිසිවෙකුටත් අවබෝධයක් නැති සිංහල පමණක් ප්‍රතිපත්තිය තුළින් බලය ලබාගත්තේය. තම පන්තියේ ධනය ජනසතු කරමින් ආණ්ඩුවට පවරා ගැනීමට පොරොන්දු විය. එම අවස්ථාවාදයෙන් බලයට පත් බණ්ඩාරනායක ශ්‍රීමතානන් කුහකත්වයේ සිරකරුවෙකු බවට පත්ව ඉතාම අකමැත්තෙන් එමගින් ශ්‍රී ලාංකීය සමාජයට වන හානිය පිළිබඳව අවබෝධයක් ඇතිව පොරොන්දුව ඉටුකර ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීය.

ඉන්පසු එළැඹි දශක ගණනාව තුළ 56 විප්ලවයෙන් බිහිවූ විකෘතිය නිසාම ඇතිවූ සිවිල් යුද්ධ තුනකින් මිනිසුන් ලක්ෂ ගණනාවක් මිය ගියේය. සිංහල පමණක් උගත් දකුණේ තරුණයන් විරැකියාව හා කුල පීඩනය පදනම් කරගෙන 1971දීත්, 1989දීත් දහස් ගණනින් මියගිය අතර, ජාතිකත්වය හා ආගම පදනම් වූ සමාජ අසාධාරණයට එරෙහිව සටන්කර වසර 30ක් දිග්ගැස්සුණු යුද්ධයකට මුහුණදී උතුරේත්, දකුණේත් මිනිසුන් දහස් ගණනක් මිය ගියේය. 

1956 විප්ලවය යනු සිංහල සමාජය නිදහසින් පසු උන්මාදයට හා නොමගට යොමු කළ සමාජ විකෘතියයි. මේ විකෘතිය මත බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය ආරම්භයේ සිට අද දක්වා මෙම රටට සිදුකළ තිරසාර ප්‍රගතිශීලී කිසිවක් නැත. ඔවුන් පෙනී සිටි බොහෝ දේශපාලන ආර්ථික සහ සමාජ ව්‍යාපෘති මහ ව්‍යසනයන් බවට පත්වූ විට බලය අතහැර යන ඔවුන් එම අසීරු අවස්ථාවන් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කරයි. 
එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසට පුරාවටම සිදුවූයේ බලයට පත්වූ සෑම අවස්ථාවකදීම එම ධුර කාලයෙන් අඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුල් නිරවුල් කිරීමටත්, ඉතිරි අඩ සංවර්ධන කටයුතුවල යෙදීමටත්ය. ඒ සඳහා උදාහරණ බොහෝය. 

1965දී ඩඩ්ලි සේනානායක බලයට පත්වන විට දස අවුරුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍ය පාලනය තුළ බිහිකළ අවුල් වියවුල් රට ප්‍රපාතය කරා ගෙන යෑම ආරම්භ කර තිබිණි. එය කොතෙක් දරුණු තත්ත්වයක් වීද යත් ඩඩ්ලි සේනානායකයන් එම පස් අවුරුදු කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් රට තුළ ගොඩනැගූ එම අවුල් සහගත තත්ත්වය නිරවුල් කිරීමට ගොස් ඔහු සදාකාලීක රෝගියෙකු වූ අතර රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය නිවැරදි කිරීම කෙසේවත් කළ නොහැකි මහ ව්‍යසනයක් බවට පත්වී තිබිණි. 

1970දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළා නොව, එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් එම උරුම කර තිබූ අවුල් වියවුල් තුළින් රට ගොඩනැගීමට නොහැකි වීමෙන් ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එම ආණ්ඩුව දේශපාලන බලය අත්හැරියේය. 1970 මැතිවරණයෙන් පසු ඩඩ්ලි සේනානායක දේශපාලනයෙන් සමුගත් අතර, ඊට වසර තුනකට පසු ජීවිතයෙන්ද සමු ගත්තේය. 
ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හදා බැලූ හා ක්‍රියාත්මක කළ විකාර රූපී ආර්ථික හා සමාජ ක්‍රමය ශ්‍රී ලාංකීය සමාජයේ ඉතිරිව තිබූ ඉතිරි සාධනීය ලක්ෂණයන්ද විනාශ කර දැම්මේය. එම ක්‍රමයේ ඇති විකාරරූපී බව තේරුම් ගැනීමට හොඳම උදාහරණය නම් සතියට දවස් තුනක් බත් කෑමට තහනම් කිරීම, ඇඳුම් ඇඳීම තහනම් කිරීම, සාද පැවැත්වීම සඳහා රජයේ අවසරය ලබා ගැනීමය. මුළු ලෝකයම විශාල සංවර්ධන පිම්මක් ගත් හැත්තෑව දශකයේදී අප රිවස් ගියරය දමා වේගයෙන් පස්සට ගියේය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි ආණ්ඩුවයි. 

1977 ජේ.ආර්. ජයවර්ධන සමග එක්සත් ජාතික පක්ෂය බලයට පත්වෙද්දී හබරල අල කන, සීනී නැතිව තේ බොන, විලි වසා ගැනීමට රෙදි කඩ මල්ලක් ගැනීමට දවස් තුනක් පෝලිමේ සිටින, දොළ දුකට පරිප්පු හොද්දක් කෑමට පරිප්පු රාත්තලක් සමුපකාරයෙන් මිලදී ගැනීමට ඉඩම් කැබැල්ලක් විකිණිය යුතු තත්ත්වයකට අප පත්ව තිබිණි. රටේ මහා පරිමාණ ව්‍යාපාර සියල්ල දේශපාලන හෙන්චයියන් අතට පත්වී තිබූ අතර, වතුසමාගම් වසා දමා සමාගම් අයිතිකරුවන් ඇඳිවත පමණක් අයිතිව පිටරට ගොස් තිබිණි. 

රටේ ආර්ථිකය කියා දෙයක් නොතිබිණි. සහල් ප්‍රවාහනය නීති විරෝධී කටයුත්තක් වූ අතර, දෙමවුපියන් හා නෑදෑ හිතවතුන්ගේ කුසගින්නට වැඩිපුර තිබූ සහල් සේරුවක් ගෙනගොස් දීම හිරේ විලංගුවේ වැ‍ටෙන තත්ත්වයක් බවට පත්ව තිබිණි. එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යුගයේදී සලාක ක්‍රමයකින් හෝ සීමා කිරීමකින් තොරව ශ්‍රී ලාංකික ජනතාවට සිදුකළ හැකිව තිබුණේ ලිංගික කටයුතු හා වැසිකිළි යෑම පමණි. මනුෂ්‍ය ජීවිතයේ අනෙකුත් සියල්ල පාලනය කර තිබිණි. 

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂයට මෙම විශාල අවුල්සහගත තත්ත්වයෙන් රට ගොඩගෙන ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගතවිය. 1994 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව 2001 එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීමේදී රටේ ආර්ථිකය ඍණ අගයක් ගත්තේය. දවසට පැය 8ක් පුරා විදුලි කප්පාදුවක් තිබිණි. උතුර ප්‍රභාකරන් යටතේ වෙනම රාජ්‍යයක් ලෙස ගොඩනැගී තිබිණි. අධ්‍යාපනය, ප්‍රවාහනය, නීති ක්ෂේත්‍රය හා රටේ ආරක්ෂාව අවුල් ජාලාවක් බවට පත්ව තිබූ අතර රාජ්‍ය නායිකාවගේ දෛනික චර්යාවේ ප්‍රමාදය පැය 08ක් තරම් විය. ආණ්ඩුකරණය විහිළුවක් බවට පත්ව තිබිණි. 2001 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට මුළු කාලයම ගතවූයේ එම අවුලින් රට ගලවා ගැනීමටය. එම පරිශ්‍රමයේදී රට තුළත්, පක්ෂ අභ්‍යන්තරයේත් අපකීර්තියට පත් එම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්වී ගෙදර ගියේය. 
නමුත් මෙවර තත්ත්වය වෙනම හැඩයක් ගෙන තිබේ. ඒ 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මැදින් දෙකට වෙන්වී ඇති අතර, එක් පාර්ශ්වයක් එක්සත් ජාතික පක්ෂය හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙර වැරදි පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලමින් ඒවා නිවැරදි කිරීමට එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳගෙන දුවයි. අනෙක් කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල ලාංඡනයෙන් වෙන්වී නව පක්ෂයක් පිහිටුවාගෙන රටපුරා අවුල් වියවුල් ඇතිකරමින් මීට පෙර ඔවුන් විසින් ඇති කරන ලද ක්‍රමවේදයන් නිවැරදි කිරීමට එරෙහි වෙමින්, ඔවුන්ද නිවැරදි නොවී බලය ලබාගැනීමේ ව්‍යාපෘතියක නිරත වේ. 

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වූ කොටස තදින්ම ප්‍රතිගාමීත්වය නියෝජනය කරයි. ඒ වෙනුවෙන් එම පක්ෂයට ජනාධිපති සිරිසේන නායකත්වයට ලැබී තිබේ. මාගේ අදහස නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුගේ අවස්ථාවාදයේ හා ජාතිකවාදයේ තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බවයි. ඔවුන් හරි මැදින් දෙකට වෙන් වී තිබේ. දෙපාර්ශ්වයේම දේශපාලනය හා පැවැත්ම තීන්දු කරනු ලබන ගාමක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත්ව තිබේ.

මේ අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තොරව අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එයින් කැඩී ගිය බලවේගයකට පැවැත්මක් නොමැති බවයි. අවසාන වශයෙන් කිව යුත්තේ රෝහණ විජේවීර කීවාක් මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාර්කික අවසානයකට ළඟා වෙමින් පවතින බවයි. ඔවුන්ගේ අවස්ථාවාදයන්, දේශපාලන කුහකත්වයන්, අකාර්යක්ෂම පාලනයන්, අවිද්‍යාවන්, ඔවුන්ට හිමි තැන උරුමකර දෙමින් තිබේ. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රමය උල්ලංඝනය කරද්දී එම පක්ෂයේ කණ්ඩායම් දෙකම ලංකාවේ කළු මාධ්‍ය වැනි ප්‍රතිගාමීන් සමග එම කුමන්ත්‍රණයට සහයෝගය දක්වයි. අද එම බලවේගය ප්‍රතිගාමීත්වයේ ගිනිසිළුවයි. ඔවුන් ගමනක අවසානයට ළඟා වී ඇත.



Recommended Articles